කලකට ඉහතදී රුසියාව පිළිබඳව බොහෝදෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ අතීතයේ සෝවියට් දේශයේ පැවති සාරවත්භාවය ද සමඟිනි. සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමත් සමඟ රුසියාව සියල්ලන්ගේම මාතෘකාව බවට පත්විය. විශේෂයෙන් ඔවුන් සතුව පැවති යුද ශක්තිය පිළිබඳව ලෝකයේ බලසම්පන්න රටවල් පවා නිරන්තර අවධානයෙන් සිටින්නට විය. අනෙකුත් රටවල් අතර රුසියාව සම්බන්ධව පැවතියේ එකම ආකාරයක මතයකි. එනම් ඔවුන් නිරන්තරයෙන් පිහිටට එන්නේ බලසම්පන්න භාවයෙන් අඩු රටවල් වෙනුවෙන්ය යන්නයි. මේ කතා කෙසේ වෙතත් රුසියාව ලෝක පුවත් සේවා අතර ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟිනි. මාස ගණනාවක් පුරා රුසියාව හා යුක්රේනය පිළිබඳව පුවතක් පළ නොවන දිනයක් නැති තරම්ය. ඒ අතුරින් යුක්රේන ජනාධිපතිවරයා පිළිබඳව කෙසේ වෙතත් වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ සහ ඇඟිල්ල දිගු වන්නේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙතයි. මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතා බහට ලක්වෙමින් පවතින මාතෘකාව වන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවයි.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව
රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසිනි. එහි මූලස්ථානය පිහිටියේ ද නෙදර්ලන්තයේය. රටවල් 123ක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය ලැබුවද රුසියාව එහි සාමාජිකයකු නොවේ. මේ නිසා රුසියන් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඔවුන් සතුව නොපවතී. එහෙත් ඔවුන් විසින් පනවා ඇති වරෙන්තුව මඟින් පුටින්ට විදේශ සංචාර සඳහා යම්කිසි ආකාරයේ බලපෑමක් එල්ල විය හැකි අතර, එයට හේතුව වන්නේ වරෙන්තු ලැබූ පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමට අනෙකුත් සාමාජික රටවල් සමාජයීය වශයෙන් ගිවිසුම්ගතව බැඳී සිටින බැවිනි. එහෙත් මේ වරෙන්තුව සම්බන්ධව ව්ලැද්මීර් පුටින් කිසිදු සැලකිල්ලකට ගත් බවක් නොපෙනේ. ඒ මන්දයත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ නිවේදනය නිකුත්ව පැය කිහිපයකට පසුවද ඔහු තම ප්‍රහාර දියත් කිරීමට කටයුතු කිරීමය. එය වඩාත් තහවුරු වන්නේ මෙම නිවේදනය නිකුත් කළ මාර්තු 17 වන සිකුරාදා රාත්‍රියේද රුසියානු ඩ්‍රෝන 16ක් යුක්රේනයට ප්‍රහාර එල්ල කළ බව යුක්රේන ගුවන් හමුදාව සෙනසුරාදා අලුයම කළ ප්‍රකාශයත් සමඟිනි. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඩ්‍රෝන 16න් 11ක්ම මධ්‍යම බටහිර සහ නැඟෙනහිර කලාපවලට ප්‍රහාරයන් එල්ල කර ඇති බවයි. මේ ඉලක්ක අතර Kyiv හා Lviv පළාත් ඇතුළත් විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිවේදනය නිකුත් කර පැය 24ක් තුළ රුසියාව විසින් ගුවන් ප්‍රහාර 34ක්, ගුවන් යානා විනාශ කිරීම වෙනුවෙන් ප්‍රහාර 57ක් සහ එක් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව පවසන්නේ යුක්රේන ගුවන් හමුදාවේ නිතිපතා යාවත්කිරීම්වලය.
එමෙන්ම ඩොනෙක්ට්ස් පළාතට එල්ල කළ ප්‍රහාරයෙන් ගම්මාන 11ක් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර ඇද වැටුණු බවත් එක් පුද්ගලයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බවද සඳහන්ය. තවත් පළාත් කිහිපයකට ප්‍රහාර එල්ල වුවද දැඩිහානි සිදු වූ බවක් සඳහන් නොවේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තමා වෙත නිකුත් කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එයට පිළිතුරු දුන්නේ ඒ ආකාරයෙනි.
වරෙන්තුව නිකුත් කිරීමට හේතු
පසුගිය මාර්තු 17 දා ජාත්‍යන්තර අපරාධ අධිකරණ විසින් පුටින් වෙත වරෙන්තුව නිකුත් කිරීමට හේතු වූයේ යුක්රේනයේ ළමුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහු වෙත චෝදනා ගොනු කරමිනි. රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයාද රුසියාවට නීති විරෝධි ලෙස ළමුන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඔහුවද අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබුණි. මෙම චෝදනා එල්ල කිරීම මඟින් විස්තරාත්මකව ඔවුන් සඳහන් කරන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ළමුන් 16,000කට වැඩි සංඛ්‍යාවක් රුසියාව යටතේ පවතින පාලන ප්‍රදේශවලට හෝ රුසියාවට පිටත් කර ඇති බවයි. තවදුරටත් ඒ තුළ සඳහන් වන්නේ මෙම ළමුන් රඳවා තැබීමට විශාල කඳවුරු ගණනාවක් පවතින බවය.
එමෙන්ම ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන අතර, එයින් සිදු කරන්නේ රුසියාවට පක්ෂපාති අදහස් ඔවුන් වෙත ජනිත කරවීම බව සඳහන්ය. තවත් තොරතුරක සඳහන් වන්නේ යම් යම් රුසියානුවන් ළමුන්ව හදාවඩා ගැනීමටද රැගෙන ගොස් ඇති බවයි. එම දරුවන් පැහැරගෙන යාම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් පවසන අතර, මේ ආකාරයට රුසියාව ළමුන් නීති විරෝධී අයුරින් ගෙන ගොස් ඇති බවට සාක්ෂි තමන් සතුව පවතින බව ඔවුන් පවසයි. මෙම කටයුතු සිදු වී ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි මස යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ දා සිට බව ඔවුන්ගේ අදහසයි. පුටින්ට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ ළමුන් පිටුවහල් කිරීම මෙන්ම යුද අපරාධ සිදු කළ බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණ විසින් කළ විමර්ශනයකින් පසුව බව ඔවුන්ගේ සඳහනයි.
රුසියාවෙන් නඩුවක්
මෙම වරෙන්තුව හේතුවෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට විරුද්ධව නඩුවක් ආරම්භ කිරීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන රුසියාවේ විමර්ශන කමිටුව සූදානමින් සිටී. ඔවුන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් හිතාමතාම එවැනි කටයුත්තක් නොකළ අහිංසක පුද්ගලයකු මූලික කර ගනිමින් චෝදනා කර ඇති බවයි. රුසියාව තම විරෝධය එල්ල කරමින් නඩුව පැවරීමට අදහස් කරනු ලබන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධානියාට සහ විනිසුරුවන් තිදෙනෙකුට එරෙහිවය. රුසියාවේ ඉහළම විමර්ශන කමිටුවක් මඟින් මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය සඳුදාය. වරෙන්තු නිවේදනය නිකුත් කිරීමෙන් පැය කිහිපයක් යෑමට මත්තෙන් රුසියාව දැඩි ප්‍රහාරයක් එල්ල කළාක් මෙන් මෙයද ඔවුන්ගේ එම විරෝධයේ තවත් එක් පැතිකඩකි. මෙම කමිටුව විසින් සඳහන් කරනු ලබන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ අංශයෙන් කිසිදු සාපරාධී ක්‍රියාවක් සිදුව නොමැති බවයි. එම නිසා අපරාධ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති හෙයින් ද ඒ සඳහා කිසිදු පදනමක් නොමැති හෙයින්ද මේ ආකාරයේ නඩු පැවරීම පැහැදිලිවම නීති විරෝධී බවයි. අපරාධ අධිකරණයේ ප්‍රධානියාගේ ක්‍රියාවෙන් සිදුවන්නේ ජාත්‍යන්තර සබඳතා ඇහිරීම සඳහා සහ ජාත්‍යන්තරව ආරක්ෂාව ඇති විදේශීය රාජ්‍ය නායකයකුට පහරදීමට සූදානම් කිරීමක් යන්නයි. ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර සිටියේ වරෙන්තුව නිකුත් කළ ආකාරය නීත්‍යනුකූලව සිදුව ඇතිමුත් නීත්‍යනුකූලවම එය බල රහිත දෙයක් යන්නයි. එයට හේතු වශයෙන් රුසියාව දක්වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගෙන ආ ගිවිසුම්වලට තමන් අත්සන් කර නොමැති නිසාය. කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට කුරිරුකම් සිදු කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පැහැදිලිවම මෙය පුටින්ට එරෙහිව ව්‍යාප්තවන සතුරුකමේ සලකුණක් බව රුසියාවේ අදහසයි.
එය ඒ ආකාරයෙන් වුවද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපති Piotr Hofmanski පවසන්නේ රටවල් 12ක් මෙම ගිවිසුම හා බැඳී සිටින බවත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් තුනෙන් දෙකක බලයක් ඇති ඔවුන්ට අයත් ඕනෑම රටක සිදුවන අපරාධ සම්බන්ධයෙන් අධිකරණමය බලයක් ඔවුන් සතුව ඇති බවයි. විශේෂයෙන් යුක්රේනය 2014 වසරේදී සහ 2015 වසරේදී දෙවරක්ම එම ගිවිසුම පිළිගෙන ඇති බව ඔහු සඳහන් කරයි. ඒ අනුව ඔහු පවසා සිටින්නේ පුටින් මෙම රටවල් 123න් ඕනෑම රටක විදේශ සංචාරයක් සඳහා සහභාගි වුවහොත් ඔහුව අත්අඩංගුවට ගෙන හේග් හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාරදීමේ බලය ඇති බවයි. එක්සත් ජනපදයද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු නොවන මුත් ඔවුන් සඳහන් කරන්නේ ද රුසියාව යුද අපරාධ සහ සාහසික ක්‍රියා සිදුකරනා බවට සැකයක් නොමැති බවයි. මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ, මෙය ඓතිහාසික තීරණයක් වන බව යි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනාගෙන් ලෝක නායකයකුට අධිකරණ වරෙන්තුවක් නිකුත් වූ පළමු අවස්ථාව ලෙසින් මෙයද ඉතිහාසගත වනු ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්න කරනු ලබන්නේ යුද අපරාධ කිරීම හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු, එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ අසුනක අසුන් ගන්නේ කෙලෙසද යන්නයි. එහෙත් ව්ලැද්මීර් පුටින්ට මෙතෙක් ගොනුව පැමිණි ගැටලු වැදගැම්මකට නැති වූවා මෙන්ම එය ද ඔහුට සරලම කාරණාවක් විය හැකිය. මන්ද ඔහුගේ සියල්ල තීරණය කරන්නේ ඔහුම බැවිනි.
රජිත බස්නායක
නව අදහස දක්වන්න