කටාර් දේශයේ සත්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලාංකිකයෙක් මරුට | දිනමිණ

කටාර් දේශයේ සත්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලාංකිකයෙක් මරුට

කටාර් දේශයේ මන්සූරා නුවර මහල් 7කින් සමන්විත ගොඩනැඟිල්ලක් හදිසියේම කඩාවැටීමෙන් එක් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම් දී ඇත. මේ පුද්ගලයන් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැඟිල්ලේ නවාතැන්ගෙන සිටි දෙදෙනෙකු වේ. පසුගියදා සිදු වූ මේ අනපේක්ෂිත සිදුවීමෙන් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගොඩනැඟිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කළ සමාගමේ සහ එහි සැලසුම් නිර්මාණය සිදු කළ ආයතනයේ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමට ද කටාර් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නව අදහස දක්වන්න