IMF ණය අපේක්ෂාවෙන් පාකිස්තානය ඉන්ධන මිල යළි ඉහළ දමයි | දිනමිණ

IMF ණය අපේක්ෂාවෙන් පාකිස්තානය ඉන්ධන මිල යළි ඉහළ දමයි

පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දිගු කාලයක සිට සැලසුම් කරමින් සිටින ණය ගිවිසුම තවදුරටත් දිග්ගැස්සෙන බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. යෝජිත ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු තවත් කොන්දේසි ගණනාවක් සපුරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් නොවනු ඇතැයි එරට පළවන ඩෝන් පුවත්පත සඳහන් කළේය.

ඉන්ධන මිල යෝජනා ක්‍රමයක් ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්පූර්ණ කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර දිගු කාලීන අපේක්ෂිත ණය ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරියකු තහවුරු කළ බව එම පුවත්පත වාර්තා කළේය.

ශෙබාස් ෂෙරීෆ්ගේ සභාග රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය පෙබරවාරි මාසයේ මුල් භාගයේ සිට අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින එරට මිලියන 22ක ජනතාවක් වෙත සහන සැලසීම සඳහා එම මුදල යෙදවීමට පාකිස්තානය රජය බලාපොරොත්තුවෙන් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය මුදල මුදා හැරීමට තව තවත් කොන්දේසි දැඩි කිරීම පසුගියදා පාකිස්තාන අගමැති ශෙබාස්ගේ දැඩි විවේචනයට ලක්වූවත්, ඔහු නව සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ සැලසුම වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී වසර 50ක කාලයක් තුළ එරටින් වාර්තා වූ ඉහළම උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දුප්පතුන් සඳහා සහනාධාර සැලසීමට ධනවත් පාරිභෝගිකයින්ගෙන් ඉන්ධන සඳහා වැඩි මුදලක් අය කිරීමය.

පාකිස්තානයේ ඛනිජ තෙල් අමාත්‍ය මුසාදික් මලික් පෙරේදා රොයිටර් පුවත් සේවයට පැවසුවේ මිල නියම කිරීමේ සැලැස්ම සකස් කිරීමට තම අමාත්‍යාංශයට සති හයක කාලයක් ලබා දී ඇති බවය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාකිස්තානයේ නේවාසික නියෝජිත එස්තර් පෙරෙස් රුයිස් පැවසුවේ ඉන්ධන මිල ක්‍රමය පිළිබඳ රජය සිය අරමුදලෙන් උපදෙස් ලබා නොගත් බවය. එහෙත් ඉන්ධන යෝජනා ක්‍රමය ඇතුළු ඉතිරි කරුණු සමථයකට පත් වූ වහාම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් පාකිස්තාන රජය සමඟ අත්සන් තබන බව ඇය තහවුරු කර ඇත. එහෙත් ඉන්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා කුමන ආරක්ෂාවක් යොදන්නේද යන්න ඇතුළුව වැඩි විස්තර සඳහා අරමුදල රජයෙන් ඉල්ලා සිටින බව ඇය පැවසුවාය.

ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් එරට ඛනිජ තෙල් හෝ මුදල් අමාත්‍යාංශය නොදැක්වූවද සති හතරක පමණ කාලයකට පමණක් තෙල් ආනයනයට ප්‍රමාණවත් විදෙස් සංචිත ඇති පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කොන්දේසි හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඩොන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සඳහා පූර්ව කොන්දේසි ලෙස රුපියල අවප්‍රමාණය කිරීම, සහනාධාර ඉවත් කිරීම සහ බලශක්ති මිල ඉහළ දැමීම ඇතුළු මූල්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් රජය දැනටමත් ක්‍රියාවට නංවා තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එමඟින් සෑහීමකට පත්වී නැති බවක් පෙන්නුම් කරන්නේ යැයි ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න