Uber සමාගම Sling Mobility සමඟ එක්වෙයි | දිනමිණ

Uber සමාගම Sling Mobility සමඟ එක්වෙයි

Uber තම සේවාවට විදුලි යතුරුපැදි එක්කිරීම සඳහා Sling Mobility සමඟ අත්වැල් බැඳගනී. (වමේ සිට) Uber Sri Lanka සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය සමඟ Sling Mobility (පුද්.) සමාගමේ සම-නිර්මාතෘ Love Yadav මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම Ridesharing යෙදුමක් වන Uber, තම සේවාවට විදුලි යතුරුපැදි එක්කිරීම සඳහා Sling Mobility සමඟ හවුල්කාරීත්වයකට එළඹී තිබේ. Sling Mobility යනු ලොව සුහුරු විදුලි රථ ජාලයන් නිර්මාණය කිරීම සඳහා Platform as a Service (PaaS) සේවාවන් ලබාදෙන ජාත්‍යන්තර සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන්, Sling Mobility මඟින් කළමනාකරණය කරනු ලබන විදුලි යතුරුපැදි එකතුවක් තම සේවාවන් තුළ භාවිතා කිරීමට Uber පියවර ගනු ඇත. දැනට Uber සේවාව තුළ ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවන්ට විදුලි යතුරුපැදි වෙත මාරුවීමේදී වැයවන වියදම් අවම කිරීම සඳහා සුවිශේෂී බැටරි දායකත්ව ක්‍රමයක් ඇතුළුව සහනදායී මූල්‍ය විසඳුම් පෙළක් හඳුන්වා දීමටද Sling Mobility සැලසුම් කර තිබේ. එමෙන්ම Sling Mobility විදුලි යතුරුපැදි භාවිත කරන ධාවකයන්ට, ‘Uber Moto’ සේවාව යටතේ මගීන් රැගෙන යාමටත්, ‘Uber Connect’ සේවාව යටතේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත. මෙම හවුල්කාරීත්වයත් සමඟ Uber මෙරට විදුලි වාහන හඳුන්වා දුන් පළමු ridesharing සේවාව බවට පත් වී තිබේ. රට තුළ තිරසර ප්‍රවාහන සේවා සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙය සිදු කරන ලදි. තම ගෝලීය තිරසර ඉලක්කයේ කොටසක් වශයෙන්, 2040 වර්ෂය වන විට අහිතකර වායු විමෝචනයන් මුළුමනින්ම තුරන් කළ සේවාවක් බවට පත්වීම Uber සමාගමේ අපේක්ෂාව වී තිබේ. මේ යටතේ පොදු ප්‍රවාහන හෝ ක්ෂුද්‍ර ප්‍රවාහන ක්‍රමවේදයන් තුළ අහිතකර වායු විමෝචනය රහිත රථවාහන පමණක් භාවිතා වනු ඇත.

“ප්‍රවාහනයේ අනාගතය වන්නේ හවුලේ භාවිතා වන, විදුලි බලයෙන් ධාවනය වන, බහු-මාධ්‍ය ප්‍රවාහන විසඳුම් බව අප විශ්වාස කරනවා. මෙම හවුල්කාරීත්වය මඟින් අප උත්සාහ කරන්නේ, අපගේ රියැදුරන් විදුලි වාහන භාවිතයට යොමුකරමින්, අහිතකර වායු විමෝචනය තුරන් කිරීමේ උත්සාහය වේගවත් කිරීමයි. මෙවැනි නවෝත්පාදන විසඳුම් සඳහා ක්ෂේත්‍රයේ විවිධ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින්, විදුලි බලය වෙත මාරුවීමට ඇති බාධාවන් ඉවත් කිරීමට අප කැපවී සිටිනවා.” Uber Sri Lanka සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය පැවසුවා ය.

 

නව අදහස දක්වන්න