ඩී. එස්. සේනානායක දර්ශනය අපි ඈත් කළත් ලී ක්වාන් යූ ඒ දර්ශනයෙන් සිංගප්පූරුව දියුණු කළා | දිනමිණ

ඩී. එස්. සේනානායක දර්ශනය අපි ඈත් කළත් ලී ක්වාන් යූ ඒ දර්ශනයෙන් සිංගප්පූරුව දියුණු කළා

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක 71වන ගුණ සමරුවේදී ජනපති කියයි

  • නිදහස් සටනේ පුරෝගාමී නායකයන්  අතර සිටිමින් ඩී.එස්. නිදහස් සටන ජය ගත්තා : ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි
  • ඩී.එස්. සේනානායක බොහෝ දුරදිග බලපු නායකයෙක් : ඩි. එස්. සේනානායක ගුණ සමරු පදනමේ සභාපති කරු ජයසූරිය .
  • ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සමහරු සිහින දැක්කත් ඇතැමුන්ගේ තීරණවලින් රටට වූ විනාශය අතිමහත් : ඩී.එස්. සේනානායකගේ වැඩපිළිවෙළේ උරුමය දිනා ගත්තේ සිංගප්පූරුවයි

දිවංගත අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අගමැතිවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට දේශපාලනඥයන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසරේ සිදු වූ විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පසුගියදා (22) පස්වරුවේ පැවති දිවංගත අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සේනානායක උරුමය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකිත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමිපාණෝ විශේෂ අනුශාසනාවක් කළහ.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

Òරාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීමට තිබු මුදල් විනාශ වී ගියා. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාරවලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර, නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

දිවංගත අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දැක්ම වූයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ව්‍යාපාර කළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළ යුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් කියා සිටියේය.

අද මම පාර්ලිමේන්තුවේ දී IMF එකඟත්වය සභාගත කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී ඇත්ත වශයෙන්ම මම කනගාටු වුණා. මොකද අද ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දින උත්සවය. එතුමා නිදහස දුන් ශ්‍රී ලංකාව 75 වන නිදහස සමරන විට යාචක රටක් බවට පත්ව තිබුණා. නමුත් මම සතුටු වුණේ අදින් පසු අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව ලැබෙන නිසා එම තත්ත්වයෙන් අපි නිදහස් වී තිබෙනවා. එහෙත් අපි මේ තත්ත්වයට පත් වූයේ කෙසේ ද කියා සිතා බැලිය යුතුයි.

ඩී.එස්. සේනානායක මහතා මේ රටට නිදහස ලබාදෙන විටත්, ඊට පෙර යුද්ධය පැවති සමයේ සිට මේ රටේ ආර්ථිකය මෙහෙයවමින් එතුමා ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ජපානයට පසුව ආසියාවේ දියුණුම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණා. අපි එංගලන්තයටත් ණය දුන්නා. එසේ නම් එවැනි රටක් කෙසේ ද මේ තත්ත්වයට පත් වුණේ. අපට කුමක්ද සිදු වුණේ?

ජපානයෙන් පසු ශ්‍රී ලංකාව දියුණු රටක් කිරීමට ඉඩ තිබුණා. එහෙත් ඒ වෙනුවට යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව ඉදිරියට ආවා. මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ඉදිරියට ආවා. ඇයි අපි පසුබැස්සේ. එසේ නම් නිදහසින් 75 වසරක් සමරන විට අපි මේ තත්ත්වයට පත්වීමට හේතු වූයේ කුමක්ද කියා විග්‍රහ කිරීම අවශ්‍යයි.

ඩී.එස්.සේනානායක අගමැතිවරයා මේ රට දියුණු කිරීමට ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාව. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා පක්ෂපාතිත්වය දැක් වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට. බ්‍රිතාන්‍ය රජතුමාට. දැන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ නිසා රජතුමා සංකේතවත්ව ප්‍රධානියා වුවත්, අපට හඩනඟන්න තිබුණේ රජතුමා වෙනුවෙන් නොවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒ නිසා එතුමා කිව්වා ලාංකික අනන්‍යතාව ගන්න කියලා. අපි කුමන ආගමට, කුමන ජාතියට අයත් වුවත් අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුයි.

ඒ සමඟම බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ගමන්, සුළුතර ජනතාවගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ නිදහස දිය යුතුයි. නමුත් අපි එතැනින් ඈත් වුණා. අපි 1956 දී ජාතිවාදය ඇති කරගත්තා. අවසානයේ යුද්ධයකට ගියා. ඒ නිසා අපි ඉදිරියට යනවා නම් අපි පළමුව රටේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති කර ඉදිරියට යා යුතුයි. එය ඉතා වැදගත් වෙනවා.

ජාතිවාදී, ආගම්වාදී වැඩවලින් මේ රට වැටුණා. නමුත් සිංගප්පූරුව ඊට ඉඩ දුන්නේ නැහැ. සිංගප්පූරුව දියුණු වුණා. දෙවනුව ඩී.එස්. සේනානායක මහතා පැවසුවේ නිදහස් ආර්ථිකයක් ගොඩනැඟීමටයි. නිෂ්පාදන වැඩ කටයුතු සහ ව්‍යාපාර කිරීම පෞද්ගලික අංශයට දෙන ලෙසයි. එමඟින් ආණ්ඩුව බදු ලබාගෙන ඒ බදුවලින් රට දියුණු කිරීමයි.

එයින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ගොඩනැඟුවා. අවශ්‍ය තරම් මුදල් තිබුණා. නමුත් අද අපට අධ්‍යාපනය නවීකරණය කිරීමටවත්, සෞඛ්‍ය නවීකරණය කිරීමටවත් මුදල් ප්‍රමාණවත් නැහැ. අපි එතැනින් ඈත් වෙලා ජනසතු කරලා, රාජ සන්තක කරලා සියලු දේ පාලනය කළා. අපි දැන් එතැනින් ඉදිරියට යා යුතුයි. ඒ නිසා රජය නැවත ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කිරීමට IMF එකඟතාව සමඟ අපි කටයුතු කර තිබෙනවා. අපට තිබෙන්නේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීමට ආර්ථික වැඩසටහනක් ලබාදීමටයි.

රජය ව්‍යාපාරවලින් අහිමි කරගත් මුදල් පිළිබඳ අවධානය යොමු කළ විට මහවැලි වැනි ව්‍යාපාර 100ක් විතර මෙරට හදන්න තිබුණා. එදා ඩී.එස්. සේනානායක මහතා කිව්වේ මේක පෞද්ගලික අංශයට භාර දෙන්න කියලා. එදා පෞද්ගලික අංශයේ ව්‍යාපාර බහුතරයක් අයත් වුණේ සිංහල ජනතාවට. ව්‍යාපාර කළේ සිංහල ජනතාව. සිංහල ජනතාව ආරක්ෂා කරන බව පැවසූ ඒ සමාජවාදී වැඩසටහනින් විනාශ වුණේ සිංහල ජනතාව.

1947 අපේ සිංහල ව්‍යාපාරිකයන් තමයි ඉදිරියෙන් සිටියේ. ඒ තත්ත්වය ඉදිරියට පැවතුණා නම් අද විශාල දියුණුවක් ලබාගැනීමට තිබුණා. අපි ඒ තත්ත්වය නැති කරගත්තා. ඒ ඩී.එස්. සේනානායක මහතාගේ දර්ශනයෙන් අපි ඈත් වූ නිසයි. මම උත්සාහ කරන්නේ ඒ දර්ශනය වෙත නැවත ගමන් කිරීමටයි.

ඩී.එස්. සේනානායක මහතාගේ දර්ශනයෙන් අපි ඉවත් වුණා. නමුත් සිංගප්පූරුවයි, ලී ක්වානු යූ අගමැතියි එම දර්ශනය ක්‍රියාත්මක කළා. ලී ක්වාන් යූ අගමැති, ඩී.එස්. සේනානායක මහතාගේ වැඩපිළිවෙළ අගය කළා.‍ නමුත් ඉන් පසුව තිබු ලංකාව එතුමා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එම උරුමය ලැබුණේ සිංගප්පූරුවට. දැන් අපේ අය කියනවා අපි සිංගප්පූරුව වගේ විය යුතුයි කියලා. මේක ද දේශපාලනය. අපි මේ දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි මේ සියලු දේ කරලා අද රටක් ලෙස කඩාවැටීමකට ලක්වී තිබෙනවා. මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මහතා කළ දේ අපි ඉදිරියට ගෙන ගියා නම් අද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මෙතැනින් ඉදිරියට යනවා.

මගේ බලාපොරොත්තුව නැවත පැරණි ආර්ථික ක්‍රමය ඇති කිරීම නොවෙයි. මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් සියලුදෙනාට විශාල හැකියාවක් තිබෙනවා. අපි ආර්ථිකය විවෘත කරමු. රජයට කියන්න රජයේ කටයුතු කරන්න, ඒ වගේම ව්‍යාපාරිකයන්ට කියන්න ව්‍යාපාර කරන්න. එසේ නම් අපි නිදහසින් වසර 100ක් සමරන්න පෙර මේ රට බලගතු රාජ්‍යයක් වනු ඇති බවට මගේ සැකයක් නැහැ.

හැමදාම අපේ ජනතාව දුප්පත් ජනතාවක් ලෙස තැබීමට අපට අවශ්‍ය නැහැ. මේ සඳහා අපි පැරණි අදහස්වලින් ඉවත්විය යුතුයි. ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. අපි සියලු දෙනා එකතුවෙලා ඒ ගමන යමු.'

කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකිත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි-

'මේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ 71 වන ගුණ සමරුව සමරන මොහොතයි. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් හැටියටයි බුදුදහමේ සඳහන් වන්නේ. නිදහස් සටනේ දී එතුමා පුරෝගාමි නායකයන් අතර සිටිමින් නිදහස් සටන ජය ගැනීම සඳහා කටයුතු කළා. මෙවැනි ගුණ සැමරුම් පක්ෂයකට ජාතියකට සීමා විය යුතු නැහැ. රුවන්මැලිසෑය ප්‍රතිසංස්කරණය කරමින් මහියංගණ මහා ථූපය ප්‍රතිසංස්කරණය කරමින් ඒවා පූජා භූමි බවට පත් කිරීමට එතුමා කටයුතු කළා. ආගමික සහජීවනයක් ඇති කළා.

එතුමා නායකයෙක් හැටියට කළ උදාර සේවාව සිහිපත් කරලයි වාර්ෂිකව මේ ගුණානුස්මරණ මහෝත්සවයේ පවත්වන්නේ. වර්තමාන දේශපාලනඥයන්ට මෙවැනි චරිත ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ ආදර්ශයෙන් අපට මේ රටට නැවතත් ශ්‍රී විභූතිය ළඟා කර ගන්න පුළුවන්. ආගම් භේදයෙන් තොරව පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම ඒකරාශී වෙලා කටයුතු කරමු කියන අධිෂ්ඨානය මේ අවස්ථාවේදී ඇති ඇතිකර ගන්න අවශ්‍යයි.

මහාමාන්‍ය ඩි. එස්. සේනානායක ගුණ සමරු පදනමේ සභාපති, හිටපු කථානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම ඉතා වැදගත්. ඩී.එස්. සේනානායක මහතා කියන්නේ බොහෝ දුරදිග බලපු නායකයෙක්. රටේ ආර්ථිකය දියුණු කරන්න කටයුතු කළා. බෞද්ධයෙකුට ජාතිවාදී වෙන්න බැහැ. අපි දැක්කා අන්තවාදී කොටස් උත්සාහයක් දරනවා මේ රටේ නැවතත් ජාතිවාදී, ආගම්වාදී අරගල ඇති කරන්න. මේවායින් සිදුවනුයේ රට ආපස්සට යෑම. රට ආපස්සට යන වැඩවලට සහාය නොදෙන ලෙස මම බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රෝහිත බෝගොල්ලාගම, කරුණාසේන කොඩිතුවක්කු, රුක්මන් සේනානායක, කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි, හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- ගයාන් පුෂ්පික

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න