සිසුවාගේ කනට ගසා දොට්ට දැමූ කොන්දොස්තර රිමාන්ඩ් | දිනමිණ

සිසුවාගේ කනට ගසා දොට්ට දැමූ කොන්දොස්තර රිමාන්ඩ්

වාර ප්‍රවේශ පත්‍ර මඟින් බස් රථයේ ගමන් කිරීම සඳහා බස් රථයට ගොඩ වූ පාසල් සිසුවෙකුට පහර දී බස් රථයෙන් බිමට ඇද දැමූ බව කියන යාපනය බස් ඩිපෝවේ කොන්දොස්තරවරයා ඊයේ (24) දින සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

කොන්දොස්තරවරයාට පසුගිය 22 වැනිදා දඹුල්ල පොලිසියේ පෙනී සිටින ලෙස යාපනය පොලිසිය හරහා යාපනය බස් ඩිපෝවට දැනුම් දුන්නද දින දෙකක් යනතුරු කොන්දොස්තරවරයා දඹුල්ල පොලිසියට නොපැමිණි බව පොලිසිය පවසයි.

පසුව මෙම කොන්දොස්තරවරයා ඊයේ තවත් කිහිප දෙනෙකු සමඟ දඹුල්ල පොලිසියට පැමිණ පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් යාපනය බස් ඩිපෝවේ කොන්දොස්තරවරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බවත් ඔහුගේ ප්‍රකාශවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරනවාද එසේත් නොමැති නම් සමථ මණ්ඩලයට මෙම පැමිණිල්ල යොමු කරනවාද යන්න තීරණය කරන බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. කේ. ඇල්ලේපොළ මහතා සඳහන් කළේය.

වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන බස් රථයකට ගොඩ වූ පාසල් සිසුවාට මෙම කොන්දොස්තරවරයා ඉකුත් 21 වැනිදා උදේ පහරදීම සිදුකොට තිබුණු අතර, සිසුවා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව රෝහල්ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන නිපුන් කවීස ගිම්හාන් නමැති දාසය හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

මෙම පහරදීම් සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් බස් රථයක සිටි කොන්දොස්තර බව පාසල් සිසුවා කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලිසිය පවසයි.

හබරණ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලෙන් අනුරාධපුර මාර්ගයේ ගමන් කරන බස් රථයක මෙම පාසල් සිසුවා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැකිරාව කොටාගල පිරිවෙනට ගමන් කිරීම සිදු කරන බව පොලිසිය පවසයි.

ඒ සඳහා දඹුල්ල බස් ඩිපෝවෙන් මුදල් ගෙවා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් සිසුවා විසින් ලබා ගෙන ඇත. මෙදින උදෑසන හබරණ සිට දඹුල්ලට බස් රථයකින් පැමිණි පාසල් සිසුවා දඹුල්ල නගරයෙන් මහනුවර සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයට ගොඩ වී තිබේ. බස් රථයට ගොඩ නොවන ලෙස කොන්දොස්තරවරයා කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවා මේ දිනවල විභාගය පවතින නිසා ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව පවසා බස් රථයට ගොඩ වනවාත් සමඟ කොන්දොස්තරවරයා මෙම පාසල් සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා කනට පහර දී ඇතැයි පොලිසිය පවසයි.

රෝහලේ ප්‍රතිකාර ලබන නිපුන් කවීෂ ගිම්හාන් කියා සිටියේ තමන් සහ තවත් මිතුරන් කිහිප දෙනෙකු මෙම සිද්ධියට මුහුණ දුන් බවය. අනෙක් මිතුරන් පහර කෑමට ලක් නොවුණු බවත් කොන්දොස්තරවරයා තමාට පහර දුන් බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම දරුවාගේ පියා වන ලාල් නිරෝෂන් මහතා කියා සිටියේ “මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ය. තමන් දැඩි මහන්සියෙන් උපයන මුදල් බස් ඩිපෝවලට මාසෙකට කලින් මුදල් ගෙවා අවසානයේ දී ප්‍රවේශ පත්‍රයට දරුවාට ගමන් කිරීමට නොහැකිව දරුවන්ට පහර දීම අනුමත කළ නොහැකි බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට තවත් දරුවකුට මෙවැනි අකටයුතුකම් නොවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම පාසල් දරුවන් රැගෙන යෑමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි හෙතෙම ලංගම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.”

 

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න