සැඟවුණු අමුත්තාගේ සිට දූෂණ මුත්තා දක්වා | දිනමිණ

සැඟවුණු අමුත්තාගේ සිට දූෂණ මුත්තා දක්වා

සැඟවුණු අමුත්තා තේරීමේ තරගය තව ටික දවසකින් පැවැත්වෙන අවුරුදු උත්සව හැම එකකදීම දැකිය හැකිවනු ඇත. වේදිකාවේ සිටින නිවේදකයා පුද්ගලයෙකුගේ ලක්ෂණ කිහිපයක් කියා එම පුද්ගලයාගේ පිටට තට්ටු කර සැඟවුණු අමුත්තා දැයි අසන ලෙස මුලින්ම තරග හඳුන්වා දෙයි. දවස පුරාම පැවැත්වෙන මෙම තරගයේදී විටින් විට සැඟවුණු අමුත්තා ඇඳ පැලඳ සිටින ආකාරය ආදිය නිවේදකයා විස්තර කරයි. ගමේ සිටින ‘බයිට්’ කරන චරිතයක් පාරේ යන විට නිවේදකයා වේදිකාවට ගොඩ වී “දැන් සැඟවුණු අමුත්තා ගමන් ආරම්භ කර තිබෙන ආකාරයක් අපිට පෙනී යනවා. ඔහු ඇඳ සිටින්නේ කහ පාට කමිසයක්...’ ආදී ලෙස අර ‘බයිට් චරිතයේ’ ලක්ෂණ සඳහන් කරයි. ඒ සමඟ වටේ සිටින කොල්ලෝ කුරුට්ටෝ, බයිට් එක පස්සේ පන්න පන්නා, සැඟවුණු අමුත්තා ඔහු දැයි, පිටට තට්ටු දමා අසයි.

තව ටික වේලාවකින් නිවේදකයාගේ මිතුරෙක් අවුරුදු උත්සවය සඳහා පැමිණෙයි. එතැනදී නිවේදකයා ඔහුව පිළිගන්නේ ද අර ක්‍රමයටමය. මේ රටේ හොරු ඇල්ලීම සිදු වූවේද මේ පන්නයටය. අල්ලපු හොරෙකු නැති වූයේ මේ නිසාය. ඇත්තටම මේ රටේ ලොකුම දූෂණයක් ලෙස ‘හොරු ඇල්ලීම’ ද නම් කළ හැකිය.

දකුණු ආසියාවේම විශිෂ්ට දූෂණ මර්දන පනත නීතිගත කිරීම තව නොබෝ දිනකින්ම සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ඊයේ ප්‍රකාශ කළේය. දූෂණ විරෝධය යනු පොදුවේ සියලු දෙනා එකඟ වන්නක් වුවද දූෂණය නමින් එක දිගටම මඩ ගැසීම, දූෂණය ඉක්මවා යන දූෂණයක් වී තිබේ. බුදුදහම අනුව හොරකම් කිරීම සේම බොරු කීම ද අපුල කාර්යයන් වේ.

දූෂණය සඳහා අද ඇති ප්‍රබලම බාධකය වී ඇත්තේ අතට හසුවෙන හැම දෙයටම හොරා හොරා යැයි කීමේ විලාසිතාවය. කතාව ඇත්තය. මේ රටේ හැම තැනම දූෂණය පැතිර තිබේ. එය කොමිස් ලෙස, අල්ලස් ලෙස ආදී වර්ග ගණනාවක් අනුව දියත් වේ. එසේ වෙද්දී අද දූෂණය යන පදය යොදා ගෙන ඇත්තේ, හොරකම තුරන් කිරීම සඳහා නොව, තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් සඳහා වන ලේබල් ඇලවීමක් සඳහාය.

2019 වර්ෂයේ පැවති මැතිවරණ රැලියකදී මෝදි වාසගම පිළිබඳව රාහුල් ගාන්ධි කතාවක් පැවැත්වීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ප්‍රධානී ලලිත් මෝදි සහ පලා ගිය දියමන්ති ව්‍යාපාරික නිරාව් මෝදි යන නම් සඳහන් කරමින් රාහුල් අසා සිටියේ සියලුම හොරුන්ට 'මෝදි' යන්න පොදු වාසගමක් ලෙස යෙදී ඇත්තේ මන්දැයි කියාය. මේ පදය වහරනු ලැබුවේ, කර වටෙන් අත දමා නරේන්ද්‍ර මෝදි වෙත චෞර ලේබලය ඇලවීමටය. එවන් වහෙන් ඔරෝ, මෙහෙ සාමාන්‍ය වූවාට ඉන්දියාවේ හරි යන්නේ නැත. රාහුල්ගේ ප්‍රකාශය සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කර තිබෙන බව පාලක භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී පූර්ණේෂ් මෝදි අධිකරණය හමුවට ගියේය. හොරකම සේම අපහාසය සහ බොරු කීම ද, එක සේ වරදක් හෙයින් මෙය කොතනින් නිමවනු ඇද්දැයි ඉන්දියාවම බලා සිටියේය.

ගුජරාට් ප්‍රාන්ත අධිකරණයක් විසින් එහිදී රාහුල් ගාන්ධි වරදකරු බවට පත් කරනු ලැබීය.

හොරා හොරා ආදී ලෙස දූෂණය සාමාන්‍යගත කිරීම සහ එය දේශපාලන අවියක් ලෙස යොදා ගැනීම ද හොරකම වැනිම වූ දූෂණයකි.

මේ නිසා අවසානයේදී සිදු වූයේ රටේ පමණක් නොව, ලෝකයේ ද නැති ඩොලර් ප්‍රමාණයක් හොරකම් කරන බවට විශාල බැනර් එල්ලාගෙන එක් පිරිසක් අරගලයේ ඉදිරියෙන්ම යෑමය. රාජපක්ෂ පවුල, ඩොලර් ට්‍රිලියන දහසක මුදලක් සොරකම් කර ඇති බව ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙමින් මේ පිරිස සිය බැනරයේ සටහන් කර තිබුණි. මේ මුදල ආපසු ලබාගත යුතු බවට ඒ සියලු දෙනා උඩ පැන පැන කියා සිටින්නට විය. ඩොලර් ට්‍රිලියන දහසක් යනු අ‍ෙමරිකානු ආර්ථිකය මෙන් පනස් ගුණයකට ආසන්න ධනස්කන්ධයකි. එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 23කි. එවැනි හොරකමක් සඳහා ලෝකයේ දැනට ඇති ඩොලර් ප්‍රමාණය මෙන් හය ගුණයක් තවත් මුද්‍රණය කළ යුතු විය. මෙවැනි ආකාරයෙන් දූෂණයට වඩා එහා ගිය බොරුව පසුගිය කාලයේදී රජ විය. ඡන්දයක් ආසන්නයේදී තාජුඩීන් වළෙන් නැඟිට එයි. පිටරට බැංකු ගිණුම් අංක එළියට එයි. වාසනා චක්‍රය සේ ෆයිල් තේරීමේ තරග එයි.

මේ සියල්ල අවසානයේ සිදු කරනුයේ දූෂණය එළිකිරීම හෝ දූෂණයෙන් තොර රටක් පෙහෙළි කිරීම නොව, දූෂණය යන්න දේශපාලන සටන් පාඨයක් පමණක් බවට ලඝු කිරීමය. මෝදි යන නම යොදා සිදු කරන ලද පහරදීම සම්බන්ධයෙන් ඉන්දියාව දුන් ආදර්ශය මේ රටේ ක්‍රියාත්මක වූයේ නම් අද විප්ලවය සඳහා පිරිස රැස්වනු ඇත්තේ, සිරගෙදර කුස්සි පාටියේය. නැත්නම් ලොන්ඩරින් පාටියේය.

දූෂණයට තිත තැබීම මේ පිරිසට වුවමනා ද නැත. ඒ පිරිසට අවශ්‍ය වන්නේ චෝදනා සඳහා කතා ගෙතීම මිස දූෂණය නවතා දැමීම නොවේ. දූෂණයට මෙන්ම බොරුවට ද එකවර තිත තැබිය හැක්කේ දූෂණ පිළිබඳව සෙවීම සඳහා ශක්තිමත් යන්ත්‍රණයක් ඇති කිරීමෙන් පමණය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ යුතුකම සඳහා ද දැන් සියල්ල සූදානම් කර තිබේ.

 

නව අදහස දක්වන්න