(හක්මණ ගංගොඩගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති දෙබොක්කාවේ රතනසිරි මාහිමි පිළිගැනීමේ උත්සවයක් හෙට (19) හක්මණ ලයනල් ජෝර්ජ් සේදර සෙනරත් ශ්‍රවණාගාරයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, මැටරඹ හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
හක්මණ ගංගොඩගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති, කැඹිලියපොළ මහා විදුහලේ හිටපු විදුහල්පති, දෙබොක්කාවේ රතනසිරි හිමියන් වෙත මල්වතු මහා විහාරයීය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව මඟින් මාතර හම්බන්තොට දෙදිසාවේ සංඝනායක පදවිය පිරිනමා ඇත. අප විහාර පරපුරේ සම්භාවනීය විහාරස්ථානයක විහාරාධිපතීත්වය දරන අපේ මූලගිරි සඟ පරපුරට අයත් කීර්තිමත් භික්ෂුවක් වන උන්වහන්සේට එම ශාසනික පදවිය පිරිනැමීම පිළිබඳ මල්වතු මහා විහාරයට කෘතඥතාව පළ කරනුයේ මතු නොව අභිනව නාහිමිපාණන් වහන්සේට මේ පදවිය මැනවින් කරවීම සඳහා ප්‍රථමයෙන් සුබපැතුම් පළ කරන්නේ ඉතා ළෙංගතුකමිනි.
ගිරුවාගම් දොළොස් දහස්රටට අයත් ඉපැරණි දෙබොක්කාව ග්‍රාමයේ ජයලත් කඩුපිටිආරච්චි නම් වූ සම්භාවනීය පරපුරට අයත් වූ උන්වහන්සේගේ උපත 1952 ඔක්තෝබර් මස 28 වැනි දින සිදු වී ඇති අතර, ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ දෙබොක්කාව කනිටු විදුහලෙනි. කුඩා කාලයේ සිටම උතුම් පැවිද්ද සඳහා බලවත් කැමැත්තක් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වකීය ඥාතිවර තලවිටියගම උපාසක මහතාගේ මැදිහත්වීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංගොඩගම ශ්‍රී සුදර්ශනාරාමයට පැමිණීම ජීවිතයේ දෛවෝපගත සිදුවීමකි. මේ විහාරස්ථානය පුරාණයේ සිට ම මහා යතිවරයන් වහන්සේගේ පා පහස ලැබූ ස්ථානයක් වූ නිසාවෙන් එම කීර්තිමත් මහා යති පරපුරේ පුරුකක් වූ පල්ලත්තර පඤ්ඤාතිස්ස මහා නාහිමිගේ භාරකාරත්වයට පත් වූහ. අතිශය සිල්වත්, ගුණවත්, චිරරාත්‍රඥ භික්ෂුවක් වූ පල්ලත්තර පඤ්ඤාතිස්ස මාහිමියන් එවක එම ප්‍රදේශයේ විසූ ගිහි පැවිදි සැමගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ යති රුවනකි. අතීතයේ පටන් මේ විහාරස්ථානය තේ යායකින් වට වූ වෘක්ෂ ලතාවන්ගෙන් අලංකාර වූ රමණීය විහාරස්ථානයක් වන අතර, පල්ලත්තර පඤ්ඤාතිස්ස හිමිගේ ශිෂ්‍යවරයකු වශයෙන් රතනසිරි හිමියන් 1967 මාර්තු මාසයේ 22 දින පැවිදි බිමට පත් වූහ. ගංගොඩගම රතනජෝති, කෝංගල විමලසාර, පොත්තේවෙල බුද්ධරක්ඛිත යන වැඩිහිටි හිමිවරුන්ගේ රැක්ම බැල්ම මත ගැටමාන්නේ සද්ධාතිස්ස සොයුරු හිමියන්ගේ කලණ මිත්‍රත්වයෙන් යුතුව රතනසිරි හිමියන් වැඩ සිටියේය. ගුරු හිමිවරුන් වෙතින් මූලික අධ්‍යාපනය ප්‍රගුණ කර ප්‍රාථමික පිරිවෙන් අධ්‍යාපනය සඳහා ගොස් ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනටයි. අනතුරුව මාතර සුදර්ශි පිරිවෙනට ඇතුළු වී ගැටමාන්නේ සද්ධාතිස්ස හිමියන් හා අප සමඟ ද කල්‍යාණ මිත්‍රත්වයෙන් යුතුව අධ්‍යාපනය ලැබීය. 1975 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූ බව ද අපේ මතකයේ තිබේ.
අනතුරුව 1977 වර්ෂයේ විශ්වවිද්‍යාල වරම් ලබා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කීර්තිමත් ආචාර්යවරුන්ගේ ඇසුර ලැබූහ. සමීපතම මිතුරකු වූයේ කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන්ය. සරසවි අධ්‍යාපනය නිමවා ශාස්ත්‍රපති උපාධිය ද ලබා සරණතිස්ස හිමියන්ගේ ඉල්ලීම පරිදි කතරගම ප්‍රදේශයේ පාසල් කීපයක ඉගැන්වීම් කටයුතු කර ගුරු දේවයන් වහන්සේ ගිලන් භාවයට පත්වීම නිසා හක්මණ කැබිලියපොළ මහා විද්‍යාලයට ස්ථාන මාරු ලබා අනුක්‍රමිකව එහි විදුහල්පති ධුරය තෙක් උසස්වීම් ලැබූහ.
පාසලේ සේවය කිරීම සේම ප්‍රදේශයේ බොහෝ ආගමික, සාමාජයීය කටයුතුවලට උර දී ක්‍රියා කරන උන්වහන්සේ විහාරස්ථානයේ දායකයන්ගේ ආගමික අවශ්‍යතා සම්පූර්ණ කිරීම මතු නොව තම ගුරු දේවයන් වහන්සේට ඇප උපස්ථාන කරමින් තමන් වහන්සේට වැඩිමහල් වූ සෙසු නාහිමිවරුන් සඳහා උපස්ථාන කරමින් කැපවීමකින් යුතුව කටයුතු සිදු කෙරිණි. වැඩිමහල් පැවිදි සහෝදර හිමිවරුන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ ගංගොඩගම විහාරයේ විහාරාධිපති පදවියට පත් කරන ලද්දේ වැඩිමල් සහෝදර මාතර ඇලවේල්ල පාරේ විමලාරාමාධිපති, වෛද්‍යසූරී, ගැටමාන්නේ සද්ධාතිස්ස හිමියන් බව සඳහන් කළ යුතුය. කුඩා කල සිටම සද්ධාතිස්ස හිමියන් හා රතනසිරි හිමියන් අතර ඇත්තේ අභේදනීය සහෝදරත්වයක් වන අතර, එය භික්ෂු සමාජයට ආදර්ශයකි.
අනතුරුව විහාරස්ථානයේ අවශ්‍යතාවන් නිසා ම විදුහල්පති තනතුරින් විශ්‍රාම ගන්නා උන්වහන්සේ විහාරස්ථානය ආදර්ශවත් අන්දමින් සංවර්ධනය කිරීමේ කාර්යයට එළඹුණි. ඒ අනුව දර්ශනීය වූ ගංගොඩගම විහාරස්ථානය තවත් දර්ශනීයත්වයට පත් කරමින් දර්ශනීය ප්‍රාකාර, පාරම්පරික වාහල්කඩ මෙන්ම බෝධි ප්‍රාකාර, ධර්මශාලා සහ පහසුකම් සහිත ආවාස මන්දිරයක් ද ඉතා කෙටි කලෙකින් නිමවන ලදි. එපමණක් නොව විහාර මන්දිරය හා චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ප්‍රතිසංස්කරණය කරවා ඇත්තේ මතු නොව විහාර බිමේ දැකුම්කළු පැන් පොකුණු ආදියෙන් යුත් දනන්ගේ සිත් සනහාලන රමණීය පුදබිමක් බවට පත් කර ඇත.
එහි රමණීයත්වය කෙතෙක් ද යත් අලුත විවාහ වන යෞවනයන් විවාහ දිනයේ සුන්දර අවස්ථා ඡායාරූප ගත කිරීමට පැමිණෙන්නේ ද මේ විහාරස්ථානයට යි.
මෙලෙස උභය ලෝක ශාසනාර්ථචර්යාවෙහි පිළිපන් බැවින් ප්‍රමෝදයට පත් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහ නායක හිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් තලාවේ නන්දසාර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩුව පැවති මාතර හම්බන්තර දෙදිසාවේ සංඝනායක පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාතිස්ස ගෞරව නාමද්වය සහිතව දෙබොක්කාවේ රතනසිරි මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමන ලදී. ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා (15) පැවැත්විණි.
නව අදහස දක්වන්න