ඉම්රාන්ට වැටුණු යෝකර් පන්දුව | දිනමිණ

ඉම්රාන්ට වැටුණු යෝකර් පන්දුව

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මීට දශක ගණනාවකට පෙර සිටම නොයෙක් ආකාරයේ පෙරළි කරන්නට සමත්වූ ක්‍රිකට් කණ්ඩායමකි. කණ්ඩායම් හැඟීම කෙසේ වෙතත් තම පෞද්ගලික දක්ෂතාවයන් පෙන්නුම් කරන්නට සමත්වූ සාමාජිකයන් ගොන්නක් පාකිස්ථානු කණ්ඩායම තුළ සිටියහ. තම යෞවන සමයේ දක්ෂතාවයන් දැක්වූ බොහෝ ක්‍රීඩකයන් පසුකාලීනව ද එම ක්ෂේත්‍රයේම පුහුණුකරුවන්, උපදේශකයන්, විචාරකයින් ආදී වශයෙන් නොයෙක් තැන්හි තම හැකියාව පෙන්නුම් කරන්නට සමත් විය. ඒ අතරින් පාකිස්ථානු කණ්ඩායම තුළ සිටි දක්ෂතම පන්දු යවන්නකු වූ ඉම්රාන් ඛාන් තම අනාගත වැඩපිළිවෙළ තුළ තෝරාගනු ලැබුවේ වෙනම මාවතකි. ඔහු අවතීර්ණ වූයේ දේශපාලනයටය. දේශපාලනය යනු කොහෙත් එකය. දකුණු ආසියානු කලාපයේ දේශපාලන කරළිය තුළ පිනුම් ගැසීම ඊටත් අමාරුය. පාකිස්ථානයද එහෙමත් රටකි. කරුණු කෙසේ වෙතත් පිතිකරුවන් භීතියට පත් කරමින් ඔවුන්ගේ දෙපා මුලට පන්දුව පතිත කළ ඉම්රාන්ට ද දැන් වැටී ඇත්තේ යෝකර් පන්දුවකි. එය ලෙහෙසියෙන් බේරිය හැකි පන්දුවක් නොවේ. ඉම්රාන්ගේ පාකිස්ථානු දේශපාලනයේ තරම කවරේද යත් පසුගිය 14 වැනිදා අධිකරණ නියෝගයකින් කියවුණේ ඉම්රාන් ඛාන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

අධිකරණ නියෝගය

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට විරුද්ධව අධිකරණ නියෝග ගෙන ඒමට එරට අධිකරණයට ඕනෑතරම් කරුණු තිබුණි. ඔවුන් මෙම නියෝගය ගෙන ඒමට හේතුවූයේ ඔහු අගමැති තනතුරේ සිටි කාලය තුළ විදේශයන්ගෙන් ලැබුණු ත්‍යාග කිහිපයක් නීති විරෝධී ආකාරයෙන් විකුණා දමා ඇතැයි යන කාරණාවය. පසුගිය මාර්තු 14 වැනිදා අධිකරණයෙන් එම නියෝගය ලැබීමත් සමඟ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලාහෝරයේ පිහිටි ඔහුගේ නිවසට ද පැමිණ තිබිණි. ඒ අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ද සමඟිනි.

ඉම්රාන් ඛාන් විසින් තමා අගමැති ධුරය දරන සමයේදී ලබාගෙන තිබූ ත්‍යාග තැන්පත් කර තිබුණේ Toshakhana හීය. Toshakhana යනු එරට අගමැති, ජනාධිපති ඇතුළුව මැති ඇමතිවරුන්ට විදේශයන්ගෙන් ලැබෙන ත්‍යාග තැන්පත් කර තිබෙන ස්ථානයයි. අධිකරණය සඳහන් කරන ආකාරයට ඉම්රාන් ඛාන් විසින් මෙම ආයතනයෙන් ලබාගෙන ඇත්තේ ඔහු අගමැතිව සිටි සමයේ ඔහුට ලැබුණු අත් ඔර්ලෝසු තුනකි. එම අත් ඔර්ලෝසු තුන ලබාගත් ඉම්රාන් එය විකුණා දැමීමෙන් අනතුරුව රුපියල් මිලියන 150කට අධික මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති බවත්, එයින් ලබාගත් මුදල තමා නියෝජනය කරනු ලබන PTI පක්ෂය වෙත ලබාදී ඇති බවත් අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටී.

ඉම්රාන්ගේ සහායට ආධාරකරුවෝ

ඉම්රාන් අත්අඩංගුවට ගැනීම පිණිස අධිකරණ නියෝගය ලැබුණ ද පොලිසියට එය ඒ ආකාරයෙන්ම ඉටුකර ගැනීමට හැකියාව ලැබුණේ නැත. මන්ද හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් ඔහුගේ ලාහෝරයේ පිහිටි නිවස වටලා ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි හෙයිනි. පොලිසියට හා ආරක්ෂක හමුදාවට එය එක් ආකාරයක මෙහෙයුමක් විය.

ලාහෝරයේ ඉම්රාන්ගේ නිවස වටලා සිටි ආධාරකරුවන් ඉවත් කිරීමට කඳුළුගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල කිරීමට සිදු වූ අතර, එයට සන්තෝසම් ලෙස ආරක්ෂක හමුදාවන්ට ආධාරකරුවන්ගෙන් ලැබුණේ ගල්මුල් ප්‍රහාරයන්ය. මෙම ප්‍රහාරයන්ගෙන් ආරක්ෂක හමුදාවේද විශාල ප්‍රමාණයක් තුවාල වූ අතර, අඟහරුවාදා ආරම්භ වූ මෙම කලබලකාරී තත්ත්වය බදාදා වනතුරු ද තිබිණි. එහෙත් මෙම මෙහෙයුම අතරමඟ නවතා දැමීමට සිදුවූයේ ලාහෝර් මහාධිකරණයට PTI පක්ෂය පෙත්සමක් ගොනුකර තිබූ හෙයිනි. මේ සමඟම ඔවුන් ඉස්ලාමාබාද් මහාධිකරණයට ද පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පවසන්නේ මෙවන් ක්‍රියාවන් සිදුවන්නේ දේශපාලන පළිගැනීමක එක් කොටසක් ලෙසින් බවයි. එමෙන්ම තවදුරටත් ඔහු පවසන්නේ සැඟව සිටින ත්‍රස්තවාදියකු අල්ලා ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නාක් මෙන් පොලිසිය කටයුතු කරමින් සිටින බවත් 2018 වසරේ සිට 2022 අප්‍රේල් මස දක්වා අගමැති වූ තමා විශ්වාසභංගයෙන් පරාද වන විට එළඹෙන මාර්තු 18දා අධිකරණයේ පෙනී සිටීම තහවුරු කරන ඇපයකට අත්සන් කළ නමුත් පොලිසිය එය භාර නොගත් බවය. අල් ජසීරා පුවත් සේවයට ඉම්රාන් පවසා සිටින්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සම්පූර්ණයෙන්ම නීති විරෝධී වූවක් බවයි. එමෙන්ම ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තමාව මැතිවරණයෙන් ඉවත් කිරීමට බවත්, තම පක්ෂයේ ජනප්‍රියත්වයට ඔවුන් අතිශය බියවී ඇති බවත්ය.

මේ සමඟම විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ තම නිවෙස තුළ සිට මාධ්‍යයට යොමුකළ වීඩියෝව ජනතාව අතර ප්‍රචණ්ඩත්වය ඇවිළීමට උදව් දී ඇති බවයි. එම වීඩියෝවේ සඳහන් වන්නේ “ඔබේ නිදහස සඳහා සටන් කරන්න” යනුවෙන් ඛාන් පවසන්නකි. එහෙත් මේ සම්බන්ධයෙන් අල්ජසීරා පුවත් සේවය හිටපු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර සිටියේ ඔවුන්ගේ නිදහස සඳහා සටන් කිරීම යනුවෙන් අදහස් වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සඳහා සටන් කළ යුතු බවත්ය යන්නයි.

තවදුරටත් ඔහු කියා සිටියේ තමාගේ වසර 26ක දේශපාලන ජීවිතය තුළ කිසිදු දිනක තමාගේ ආධාරකරුවන්ගෙන් ප්‍රචණ්ඩකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා නොසිටි බවයි.

ගල්මුල්, ජල ප්‍රහාර, කඳුළුගෑස් සහිත කලබලකාරී වාතාවරණ හමුවේ ආරක්ෂක හමුදාවේ පිරිස් තුවාලවීම්වලට ලක් වූවා සේම ඉම්රාන්ගේ ආධාරකරුවන් ද අනතුරු රැසකට මුහුණ දුනි. ඒ අතරවාරයේ පාකිස්ථානය තුළ ඉම්රාන්ගේ කතා විකාශනය තහනම් කළ අතර, යම් රූපවාහිනී නාළිකාවන් ද අත්හිටුවන ලදී.

ඉම්රාන් පවසන්නේ මේ වන විට ඔහුට විරුද්ධව නඩු 80ක් පමණ තිබෙන අතර, සෑම දිනකම වාගේ එක් නඩුවක් ගොනුවන බවයි. ඒ අතරට මිනීමැරුම් නඩුවක්, රාජද්‍රෝහී නඩුවක්, අපහාස නඩුවක් හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නඩුවක් ගොනුවී තිබේ. ඔහුගේ ඉල්ලීම වන්නේ නඩු සියල්ල එකම ශ්‍රේෂ්ඨාධිකරණයක තබන ලෙසයි. ආණ්ඩුව පවා තමාගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා යැයි පවසන මොහොතක එය එක්තැනක තිබීමෙන් තමාගේ ආරක්ෂාවට යම් සහනයක් ද වන බවයි. ඔහුගේ මතය වන්නේ ලොව සිටින භයානකම අපරාධකරු මෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වුවද වර්තමානය වන විට ලොකුම අපරාධකරුවන් සිටින්නේ ආණ්ඩුව තුළ බවය. ඔහුගේ මතයට අනුව අල්ජසීරා පුවත් සේවය ඔහුගෙන් ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නකි.

“ඔබ පවසන අයුරින් සැබෑ අපරාධකරුවන් සිටින්නේ පාර්ලිමේන්තුවේ. පාකිස්ථානයේ විශ්වාසභංගයකින් ඉවත් කළ එකම අගමැතිවරයා ඔබයි. එසේ නම් ඔබ සිතනවාද මෙය ඔබගේ දේශපාලන දිවියේ අවසානය නොවේ යැයි කියා...?”

එයට පිළිතුරු ලෙසින් ඉම්රාන් ඛාන් පවසා සිටියේ අතීතයේදී පවා ආණ්ඩු බලයෙන් පහකර තිබෙන බවත්, ඒ සියල්ල සිදුවූයේ දූෂණ, වංචා සහ දුර්වල ආර්ථික ක්‍රියාකාරිත්වය මත යන්නය. එහෙත් තමාගේ ආණ්ඩුව ඉවත් කරනු ලැබුවේ එසේ නොවන බවත්ය. මෙතරම් මහජන රැල්ලක් ඇතිවී තිබෙන්නේ කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩුව පෙරළා දැමූ නිසාය යන්නයි.

Toshakhana මෙය පාකිස්ථානයේ පිහිටවනු ලැබූවේ 1974 වසරේ වන අතර, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලැබෙන සියලු ත්‍යාග ප්‍රදානයන් තබා තිබෙන්නේ මෙම ස්ථානයේය. දැනට ගණනය කර ඇති ආකාරයට මෙහි ඇති තෑගි භාණ්ඩ අතර, මෝටර් රථ, ගිනි අවි සහ රත්රන් භාණ්ඩ ද ඇතුළත් වන අතර, වැඩි වශයෙන් එහි තිබෙන්නේ අත් පලඳනාය.

කෙසේ වෙතත් මෙයින් ආභරණ ගෙන ගොස් ඇත්තේ ඉම්රාන් ඛාන් පමණක් නොවේ. මින් පෙර සිටි ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු මෙන්ම හමුදා ප්‍රධානීන් ද වේ. ඒ අතරින් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු අගමැතිවරයකු වූ ෂහිඩ් අබ්බාසිය. මිලියන 123කට වඩා වටිනාකමක් ඇති භාණ්ඩ ඔවුන් රුපියල් මිලියන 24කට පමණ මිලදී ගෙන තිබේ. ඉම්රාන් ඛාන්ගේ බිරිය ද රු. මිලියන 18ක පමණ ආභරණ රුපියල් මිලියන 9ක පමණ මුදල් ගෙවා මිලදී ගෙන තිබේ.

ඉම්රාන් ඝාතන තැතක්

ඉම්රාන් ඛාන් පවසන්නේ ඉස්ලාමාබාද් පොලිසියට තමාව අත්අඩංගුවට ගැනීමට කිසිසේත්ම උවමනාවක් නැති බවත්, ඔවුන්ට අවැසි වන්නේ තමාව ඝාතනය කිරීම බවය. එසේම ආණ්ඩුව කෙසේ හෝ උත්සාහ දරන්නේ වසර අවසානයට පෙර පැවැත්වෙන මැතිවරණයේදී ඔහුව සිරගත කිරීමට බවයි.

මේ මොහොත වන විට පාකිස්ථානය විරෝධතා රැල්ලක ගමන් කරමින් සිටී. ඉස්ලාමාබාද් නගරයෙන් ඇරඹුණු විරෝධතාවයන් රාවල්පිණ්ඩි, කරච්චි සහ පෙෂාවර් දක්වා පැතිර ගොස් තිබේ.

මේ විරෝධතා රැල්ල පිළිබඳව යම් හෙයකින් මේ ආකාරයට ද පැවසීය. ඉම්රාන් ඛාන් පැවසූ පරිද්දෙන්ම “ඔබේ නිදහස සඳහා සටන් කරන්න” යනුවෙනි.

රජිත බස්නායක

නව අදහස දක්වන්න