බිරියගේ මිතුරියක් නිසා ඉම්රාන්ට තවත් ලෙඩක් | දිනමිණ

බිරියගේ මිතුරියක් නිසා ඉම්රාන්ට තවත් ලෙඩක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරියගේ මිතුරියක ඔහුගේ පාලන කාලයේදී මහපරිමාණයේ කෝටිපතිනිය බවට පත්වීම පිළිබඳ පසුගියදා ‘දි නිවුස් ඉන්ටර්නැෂනල්‘ පුවත් සේවය හෙළි කළේය. එවකට ඉම්රාන් අගමැති පදවියේ සිටියදී ෆර්හාත් ශෙසාඩි නමැති ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක ඇගේ ව්‍යාපාර පුළුල් කිරීමේ කටයුතුවල යෙදී සිටි බවත්, විදෙස් රටවල සිටින පාකිස්තාන ජාතිකයන්ට සිය මවුබිමේ ආයෝජනය කරන ලෙස එවැනි අවස්ථාවක ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

දි නිවුස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය අනාවරණය කළ පරිදි ෆර්හාත්ගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරමින් විවිධ ව්‍යාපාරික සමාගම් 4ක් ලියාපදිංචි කරගෙන ඇත්තේ ඉම්රාන් ඛාන් බලයේ සිටියදීය. වසර 2019 සිට 2021 දක්වා ඇගේ සොහොයුරිය විසින් සමාගම් තුනක් ලියාපදිංචි කර ඇති අතර, ෆර්හාත්ගේ සැමියා තවත් සමාගමක් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වේ.

ෆර්හාත් සහ ඇගේ සැමියා පසුගියදා බරපතළ දූෂණ චෝදනාවලට මුහුණ දුන් අතර, මේ පිළිබඳ ඉම්රාන් ඛාන් පෙන්වා දී ඇත්තේ වත්මන් රජය විසින් සිදු කරනු ලබන දේශපාලන පළිගැනීමක් ලෙසටය. පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරන ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත.

මේ වනවිට පාකිස්තාන රජය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ෆර්හාත් සහ ඇගේ සැමියාට එරෙහිව නඩු පවරා ඇති අතර, ඔවුන් යළි පාකිස්තානයට ගෙන්වා ගැනීමට ඉන්ටර්පෝල් පොලිසියේ සහාය අපේක්ෂවෙන් සිටී. දි නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේදී ෆර්හාත්ගේ ධන සම්භාරය 2018 සිට සිව් ගුණයකින් වර්ධනය වී ඇත. වසර 2020 මැයි මාසයේදී ඇය සහ ඇගේ සැමියා තවත් හවුල්කරුවන් කිහිපදෙනකු සමඟ බ්‍රිතාන්‍යයේ ගෝල්ඩ්ස්ටාර් යුරෝ ලිමිටඩ් සමාගම අත්පත් කරගෙන ඇතැයිද වාර්තා වේ. ඇගේ සොහොයුරියක වන මුසාරාත් 2021 නොවැම්බර් මාසයේදී බ්ලැක් ඇපල් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් නමින් නව සමාගමක් ලියාපදිංචි කර ඇතැයි ද වාර්තා වේ.

මීට අමතරව ෆර්හාත්ට පාකිස්තානයේ ද අල්මූස් කිරි නිෂ්පාදන ඇතුළු විවිධ සමාගම් රැසක් හිමි බවත්, ඇය විසින් ඉම්රාන්ගේ පාලන සමයේදී ෆයිසලාබාද් කාර්මික ජනපදයේ අල් මූස් කිරි නිෂ්පාදනාගාරය සඳහා අක්කර 10.3ක ඉඩමක් සහනදායි මිලකට ලබාගත් බවත් අනාවරණය වී තිබේ.

ෆාර්හාත් ශේෂාඩි සහ ඇගේ පවුලේ සාමාජිකයන්ගේ ගිණුම්වලට ප්‍රේෂණ ආකාරයෙන් මුදල් ගලා ඒමක් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳ කිසිදු ලේඛනයකින් තොරතුරු පිටතට අනාවරණය වී නැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න