ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට බැතිමතුන්ට වැඩි අවස්ථාවක් සලසාලමින් එරට බෞද්ධ සංචාරක දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ වෙහෙර විහාර දැක බලා ගැනීමටත්, ගෞතම බුදුන් වහන්සේ විනයානුකූල දිවි පෙවෙතක් ගෙවූ ඓතිහාසික ස්ථාන නරඹමින් අත්දැකීම් විඳ ගැනීමටත් බැතුමතුන්ට හා සංචාරකයන්ට නව දුම්රිය සේවයෙන් පහසුකම් සැලසෙන අතර, එම දුම්රිය නේපාලයේ සහ ඉන්දියාවේ ස්ථාන 9ක් ආවරණය කරමින් ධාවනය කෙරෙන බව හින්දුස්තාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.
‘භාරත් ගෞරව් ට්‍රේන්ස්‘ නමින් ඉන්දීය දුම්රිය අවන්හල් සහ සංචාරක සංස්ථාව හඳුන්වාදෙන නව දුම්රිය සේවය මගින් බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණි, බුද්ධත්වය ලැබූ බුද්ධගයාව, පළමු ධර්ම දේශනාව පැවැත්වූ සාරානාත් පුදබිම, නිර්වාණය සිදු වූ කුසිනාරාව යන ස්ථාන වැඳපුදා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වනු ඇතැයි වාර්තා වේ.
දින අටක් පුරා රාත්‍රීන් 7ක් ආවරණය වන පරිදි පැවැත්වෙන ‘භාරත් ගෞරව්‘ බෞද්ධ සංචාරක දුම්රිය සේවය පසුගිය 11 වැනිදා නවදිල්ලි නුවර සෆ්ඩාර්ජන්ග් දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර ඇති අතර, එය අද (18) යළි එම දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
නව අදහස දක්වන්න