මීනගයා බිලිඳා දැඩි කොන්දේසි මත මවු-පිය යුවළටම | දිනමිණ

මීනගයා බිලිඳා දැඩි කොන්දේසි මත මවු-පිය යුවළටම

  •  ඇප ලද වහා විවාහ වී දරුවා භාර ගන්න සූදානම්
  • සැකකාර යුවළගේ නීතිඥ
  • වඩා වැදගත් වන්නේ දරුවාගේ පෝෂණයයි
  • නියෝගය දෙමින් විනිසුරු පවසයි

පසුගිය 10 දා මඩකලපුව බලා ධාවනය වීමට සූදානමින් තිබුණු මීනගයා දුම්රියේ වැසිකිළියක බිලිඳකු දමා ගිය මවුපියන්ට දැඩි කොන්දේසි මත සහ පරිවාස නිලධාරියාගේ අධීක්ෂණය යටතේ එම දරුවා තාවකාලිකව භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට ඊයේ (17) නියෝග කළේය.

මේ සැකකාර තරුණ යුවළ ඇප දීමෙන් පසු අද දිනයේම විවාහ කර දීමට කටයුතු කරන බවත්, ඉන් පසු දරුවා භාරයට ගෙන රැකබලා ගැනීමට ඔවුන් සූදානම් බවත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

ඊයේ (17) විවෘත අධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේ බිලිඳා දමා ගිය මවට එම දරුවාට මවුකිරි දීම සඳහා දරුවා භාර දීමට හැකියාව ඇද්දැයි සොයා බලා වහා අධිකරණය දැනුම්වත් කරන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පරිවාස නිලධාරියාට නියෝග කර නඩුව මඳ වේලාවකට කල් තැබිණි. ඉන් අනතුරුව බිලිඳාගේ මවට භාර දීම සුදුසු බවට නිර්දේශ කරන බව පරිවාස නිලධාරියා අධිකරණයට දන්වා සිටි අවස්ථාවේ බිලිඳාගේ මව වන මාණික්කම් ප්‍රියරෝෂිණීට දරුවා භාර දීම සම්බන්ධයෙන් විරෝධයක් නැති බවත්, පරිවාස අධීක්ෂණය යටතේ දරුවා මුදා හරින ලෙසත් පරිවාස නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ලබන අඟහරුවාදා (21) උදේ 9ට දරුවා සමඟ මව සහ පියාට ඩීඑන්ඒ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දරුවාගේ මව සහ පියා රු. ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

දරුවා තාවකාලිකව භාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දරුවාගේ පෝෂණය, රැකවරණය සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බව දරුවාගේ මවුපියන්ගේ දෙමවුපියන්ටත් අවවාද කරමින් දන්වා සිටියේය. දරුවාට කිසිදු අනතුරක් නොකළ යුතු බවටත්, බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවා ඔවුන් භාරයේ සිටිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

“මේ අවස්ථාවේ අධිකරණයේ අවධානය යොමු වන්නේ කුඩා දරුවාගේ පෝෂණ තත්ත්වය ගැනයි. දරුවාගේ වැඩීමට මවුකිරි අත්‍යවශ්‍යයි“ කී මහේස්ත්‍රාත්වරයා දරුවා භාර දෙන්නේ දැඩි කොන්දේසි මත බවත්, අධිකරණ කොන්දේසි අනුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය. පරිවාස නිලධාරි වාර්තා සඳහා ලබන ජූනි 2 දා නඩුව යළි කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න