දෛනික වියදමට ලක්ෂ 3ක් සමඟ මෙවර ලක්ෂ 8ක්
අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වුවත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට පවතින දැඩි තරගකාරිත්වය නිසා ඒ අවස්ථාව මඟහැරෙන දරුවන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල මඟින් මෙරටේදී රැකියාභිමුඛ උපාධි පාඨමාලා හැදෑරීමට කිසිදු පොලියක් අය නොකර රු. ලක්ෂ 11ක බැංකු ණය පහසුකමක් සැලසීමේ වැඩපිළිවෙළ යළි ඇරඹීමට රජය තීරණය කොට තිබේ.
රැකියා අවස්ථා බහුල පාඨමාලා මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල මඟින් හැදෑරීමට ඉසෙඩ් අගය ඉහළින්ම තිබෙන සිසුන් වෙත මේ බැංකු ණය පහසුකම සැලසීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
මීට ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට කිසිදු පොලියක් අය නොකොට රු. ලක්ෂ 8ක මුදලක් ලංකා බැංකුව මඟින් සිසුන් වෙත පිරිනමා තිබේ. නව වැඩපිළිවෙළ යටතේ උපාධි පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 8කුත් සිසුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලකුත් ලෙස රුපියල් 11ක් දීමට පියවර ගන්නා බවද සියඹලාපිටිය මහතා කීය.
මේ ණය මුදල මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින්ද සිසුන්ට දීමට හැකි ලෙස එය පුළුල් කර ඇත. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධ්‍යාපන ඇමැතිවරයා විසින් ලබන අඟහරුවාදා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිසුන් 5,000කට මේ ණය පහසුකම සැලසීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. මේ ණය පහසුකම ගෙන විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් ගත වීමෙන් පසු රැකියාවක යෙදෙමින් එය ආපසු ගෙවීමට හැකි ලෙස වැඩසටහන සංවිධානය කොට ඇත.
දැනට මෙරට ණය පොලී අනුපාතය 25%ක පමණ ඉහළ මට්ටමක පවතින බැවින් උසස් අධ්‍යාපනය හැදෑරීමට එවැනි පිරිවැයක් දරා ණය මුදලක් ගැනීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට නොහැකි වී තිබේ. ඔවුන්ගේ මවුපියන්ටද එවැනි බරක් දැරීමට හැකියාවක් නැත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන, නවතා දමා තිබූ පොලී රහිත උසස් අධ්‍යාපන ණය පහසුකම රජය අරඹන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ සහ නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න