මෙරටට ඇදී එන මත්ද්‍රව්‍ය පාලනයට එක්ව වැඩ කරමු | දිනමිණ

මෙරටට ඇදී එන මත්ද්‍රව්‍ය පාලනයට එක්ව වැඩ කරමු

පලස්තීන, ඊජිප්තු සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය තානාපතිවරු මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදුටු අවස්ථාව.

  • මල්වතු මහානායක හිමියෝ අරාබි කවුන්සිලයේ රටවල තානාපතිවරුන්ට කියති

මෙරටට මත්ද්‍රව්‍ය බහුලව ඇදී එන්නේ ඇතැම් මුස්ලිම් රටවල් ඔස්සේ බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පලස්තීන, ඊජිප්තු සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ.

අරාබි කවුන්සිලයේ රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධව, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid, ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri යන මහත්වරු ඊයේ (17) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක දැනුම්වත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මේ බව පැවසූහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

මත්ද්‍රව්‍යය නිසා ජාති, ආගම් භේදයෙන් තොරව විශාල පීඩාවකට ජනතාව පත්ව සිටිනවා. මෙම මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට වැට බැඳීමට මුස්ලිම් රටවල් අත්වැල් බැඳගත යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වෙනවා. ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයන්. බලය සඳහා ඇතැම් දේශපාලනඥයන් ජනතාව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන් කරනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාති හා ආගම් වශයෙන් බෙදීම් පවතින බවට ජත්‍යන්තරයට වැරැදි පණිවිඩයක් යනවා. මෙරට සියලු ජන කොටස් බිම් මට්ටමේ ඉතා සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වෙනවා. මහනුවර මෙන්ම රිදියගම මුස්ලිම් පල්ලි ඉදිකර තිබෙන්නේ බෞද්ධ විහාරස්ථානවලට අයත් ඉඩම්වල. අරාබි කවුන්සිලයට අයත් රටවල් මඟින් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කරනවා. ජාතියක්, ආගමක් හෝ ආගමික සිද්ධස්ථානයක් ඉලක්ක කර ක්‍රියාත්මක කරන ප්‍රචණ්ඩත්වය හෙළා දැකිය යුතුයි.

අරාබි කවුන්සිලයේ රටවල් ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන බවත් තානාපතිවරු පැවසූහ. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල නාහිමියෝ ද සහභාගි වූහ.

ඡායාරූප- රුවන් මීගම්මන

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න