හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නියෝජ්‍ය දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි
ටික දෙනකු වෙත පැටවෙන අධික බදු බර සාධාරණ ලෙස බද්දට යටත් සියලු දෙනා වෙතින් අය කර ගැනීමට හැකි අයුරින් බදු පදනම පුළුල් කිරීම බදු පීඩනයෙන් මිදීමේ මඟක් වන බව හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නියෝජ්‍ය දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික ජන සමාජය අතිශය පීඩාකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව පවසමින් මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ, වැඩවර්ජනවලට මුල් වන බදු ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතු දැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේය.
මාසික වැටුප් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් ඇතුළු බදු ගෙවන්නන් මුහුණදෙන අපහසුතාවයෙන් මිදීමට නම් කළ යුත්තේ ටික දෙනකු වෙත පැටවෙන අධික බදු බර සාධාරණ ලෙස බදු ගෙවීමට හැකියාව ඇති සියලු දෙනා වෙත බෙදා හැරීමට හැකි ලෙස නැතිනම් බදු පදනම පුළුල් කොට අය කිරීම බව හිටපු කොමසාරිස් ජනරාල්වරයා කීය. ඔහු සඳහන් කළේ බදු ගෙවීමට යටත් සියලු දෙනා බදු ක්‍රමය තුළට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කිරීම බදු පරිපාලකයන්ගේ වගකීමක් බවයි.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් බදු එකතු කිරීමට යොදා ගන්නා ප්‍රධාන යන්ත්‍රණය ස්වතක්සේරු බදු ක්‍රමයයි. තමා විසින්ම තමාගේ බද්ද ගණනය කර අදාළ වාර්තා සම්පූර්ණ කර නියමිත බදු ගෙවීම මෙම ක්‍රමයයි. එලෙස බදු පදනම පුළුල් කිරීමේදී හා ආදායම් ඉහළ නැංවීමේදී ස්වතක්සේරු බදු ක්රමයක තිබිය යුතු මූලික ලක්ෂණය වන්නේ බදු අනුකූලතාවය (Compliance) ඉහළ මට්ටමක රඳවා ගැනීම බව කී ගුණසිරි මහතා, බදු අනුකූලතාවය, බදු අනුකූලතා අවදානම (Risk) කළමනාකරණය සිදු කර ගැනීම සඳහා පාලකයන් ක්‍රියා කළ යුතු බව ද කීය.
ස්වතක්සේරු බදු ක්‍රමයක් සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍යම කරුණ වන්නේ බදු ගෙවීම සඳහා ජනතාව ලියාපදිංචි කිරීමයි. එලෙස ලියාපදිංචි කළ අය නියමිත දිනට වාර්තා ඉදිරිපත් කිරීම, ඒවා නිවැරැදි හා සම්පූර්ණ බදු වාර්තා වීම, ආදායම් මත නිවැරැදි වේලාවට සම්පූර්ණ බද්ද ගෙවා තිබීම ද වැදගත්ය. මෙලෙස ස්වතක්සේරු බදු ක්‍රමය යටතේ බද්ද ගෙවීමට ක්‍රියා කරන පිරිස අතුරෙන් ඒ සඳහා අනුකූලතාවය දැක්වීමට කිසිදු සූදානමක් නොමැති තැනැත්තන්ගෙන් බදු අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම හරහා සිදු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි තැනැත්තන්ගෙන් නියමිත දිනට බදු වාර්තා ඉදිරිපත් කිරීම් සියයට 50ක මට්ටමටවත් නොමැති වීම අතිශය දුර්වල තත්ත්වයක් බවද කී ඒ මහතා, ස්වකැමැත්තෙන් නියමිත දිනට වාර්තා ලබා දීම්, බදු මුදල් ගෙවීම් සිදු කර ගැනීම සඳහා පවතින තත්ත්වය අවබෝධ කරගෙන නිසි වැඩපිළිවෙළක් බලධාරීන් ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දුන්නේය.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 8 සිට 15 දක්වා වැඩි කර ගැනීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 2023 සඳහා වූ අය වැයේදී වැඩපිළිවෙළක් යෝජනා කොට ඇති බව කී හෙතෙම, එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වීම තුළින් රජයේ ආදායම් ඉහළ යන බවත්, වගකීම සහ යුතුකම බදු ගෙවන්නන් විසින් ඉටු කරනු ලබන්නේ නම් රාජ්‍ය ආදායම් ඉහළ නැංවෙනවා පමණක් නොව, රටේ ආර්ථික අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකි බවත් සඳහන් කළ හැකි බව ද කීය.
ජයසිරි මුණසිංහ
නව අදහස දක්වන්න