නවසීලන්ත පිල සාර්ථක ගමනක
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හි බේසින් රිසර්ව් පිටියේදී ඊයේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට වැඩි ගෞරව හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.
ශ්‍රී ලංකා පිලට තීරණාත්මක මේ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට දිමුත් කරුණාරත්න සමත් වූ අතර, ඔහු පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කර සිටියේය. ඒ අනුව පළමු ඉනිම ක්‍රියාත්මක කරන නවසීලන්තය දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 155ක් රැස් කර තිබුණේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.
කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකොල්ස් ලකුණු 18ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 87දී බිඳ දැමීමට කසුන් රාජිත සමත් විය. ප්‍රභාත් ජයසූරිය උඩ පන්දුවක් රැක ගැනීමෙන් ටොම් ලේතම් දැවී යන විට රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 21කි. තවත් ලකුණු 31ක් එක් වෙද්දී ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඩෙවෝන් කොන්වේ දවා ගැනීමට පන්දු යැවූ ධනංජය ද සිල්වා සමත් වූයේ ඔහු විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 108කට මුහුණ දුන් කොන්වේ හතරේ පහර 13ක් සමඟින් ලකුණු 78ක් රැස් කළේය.
කාලගුණ අනාවැකි සාර්ථක කරමින් ඊයේ පෙරවරුවේ තරගය ආරම්භ කිරීමට නොහැකි වූයේ පිටියට වර්ෂාව ඇද හැළීම නිසාය. මෙරට වේලාවෙන් අලුයම 3.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් බාධා වීම පසු තරගය ආරම්භ වූයේ පෙරවරු 6.40ට පමණය. ඉන් පෙර කණ්ඩායම් දෙකට වේලාසනින්ම දිවා ආහාරය ගැනීමට ද සිදු විය. අනතුරුව පළමු දිනයේ ඕවර 68ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය ඕවර 48කදී නතර කිරීමට සිදු විය.
මේ තරගයේදී කණ්ඩායම් දෙකම එක් වෙනසක් බැගින් සිදු කර තිබිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලගේ ස්ථානයට කඩුලු රකින පිතිකරු නිශාන් මධුෂ්ක කැඳවූ අතර, 23 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 163 වැනි ක්‍රීඩකයා බවට පත් විය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අතින් මධුෂ්කට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමිණි. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ නීල් වැග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් නවසීලන්ත කණ්ඩායමට කැඳවා තිබිණි.
ඊයේ තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් අද තරගය දෙවැනි දිනයට මෙරට වේලාවෙන් අලුයම 3.00ට ආරම්භ කිරීමට නියමිත අතර, අද දිනයේදීත් වෙලිංටන් ප්‍රදේශයට වැසි ඇතිවීමට 45%ක සම්භාවිතාවක් ඇති බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කර තිබේ.
නව අදහස දක්වන්න