පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන
කුමන වර්ජන පැමිණියත් වත්මන් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඊයේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
"අරගලයෙන් බැරි වූ දෙය වර්ජනවලින් සිදු කරන්න යම් යම් පාර්ශ්ව උත්සාහ කරනවා. ආණ්ඩුව හැටියට මෙවැන්නකට නිර්භීතව මුහුණ දෙනවා. වර්ජන හේතුවෙන් ආණ්ඩුව ගෙදර යන්නේ හෝ පසුබහින්නේ නෑ.
ඊයේ මහා වැඩවර්ජනයක් ජාතික මට්ටමේ වර්ජනයක් හැටියට නම් කර අපේ රටට මහා විනාශයක් කරනවා. පසුගිය කාලයේදී ගෝල්ෆේස් අරගල භූමියේ හිටපු මුහුණු තමයි මෙතැනදීත් පේන්නේ. ඒ අයමයි මේ රට අරාජික කරන මහා වැඩපිළිවෙළක ඉන්නේ. අරගලයේ අරමුණ වූයේ ජනාධිපති එළවා ආණ්ඩුව පෙරළන්න. එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීමත් සමඟ හොඳ කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බව පැහැදිලිව පේනවා. ඒ නිසා තමයි අද ඩොලරය විශාල ලෙස පහත වැටී තිබෙන්නේ. ඒත් එක්ක අපේ බඩු මිල පහත වැටෙමින් තිබෙනවා. අද වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නෑ. පැය විසි හතරේම විදුලිය ලැබෙනවා. එසේ රට හොඳ අතට හැරෙමින් පවතින වෙලාවක තමයි මේ වර්ජනයක් පවත්වන්නේ. වරාය වෘත්තීය සමිති නායකයෙක් කියනවා, ආණ්ඩුවට පාඩුවක් කරනවා කියලා. අද ජාත්‍යන්තර පාසල් සියල්ලම වැඩ කරනවා. අහිංසක ගොවියන්ගේ, කම්කරුවන්ගේ දරුවාට තමයි පාසලට යන්න බැරි වෙලා තිබෙන්නේ. රෝගීන් බිල්ලට තියාගෙන තමයි මේ මහා වැඩවර්ජන වෛද්‍යවරුන් සිදු කරන්නේ.
මේ වර්ජනවලින් ආණ්ඩුව වට්ටන්න බෑ. අරගලයෙන් බැරි වූ දෙය වර්ජනවලින් සිදු කරන්න හදනවා. මෙයට රජය හැටියට අපි ඕනෑකමින් සහ උනන්දුවෙන් නිර්භීතව මුහුණ දෙනවා."
මහින්ද අලුත්ගෙදර
නව අදහස දක්වන්න