තීරණාත්මක කාලයක ඛේදනීය අන්දමින් කටයුතු කිරීමේ අනිසි ප්‍රතිපල රටටයි | දිනමිණ

තීරණාත්මක කාලයක ඛේදනීය අන්දමින් කටයුතු කිරීමේ අනිසි ප්‍රතිපල රටටයි

2022 වර්ෂයේ දී රට දැවැන්ත ආර්ථික අර්බුදයක් වෙත ඇද වැටීම තුළ ඇතිවූ දරුණු ප්‍රතිපල හමුවේ රජයකට සහ ජනාධිපතිවරයෙකුට ඉල්ලා අස්වීමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එවැනි ආර්ථික අර්බුදයකට විසඳුම් ලබා ගනිමින් කටයුතු කරන අතරතුර, විවිධ අයුරින් කඩාකප්පල්කාරී හැසිරීම් තුළින් රට නැවත අර්බුදයක් කරා ගෙන යාමට උත්සාහ කිරීමේ අනිසි ප්‍රතිපල රජයට නොව, ජනතාවට හා රටට අත් වනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
 
එමෙන්ම, ආර්ථිකය ස්ථාවර කරමින් පවතින අවස්ථාවේ දී, පැවතියාටත් වඩා දරුණු තත්වයකට රට ඇද දැමීමට මෙවැනි වැඩවර්ජන ආදිය සිදු කළහොත්, ජාත්‍යන්තරයේ කිසිදු සහයෝගයක් රටට නොලැබෙනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රට තුළ හදිසියේ වෘත්තීය සංගම් විසින් දියත් කර ඇති වැඩ වර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (15) මෙසේ ප්‍රකාශ කළේය.
 
“2022 වර්ෂයේ දී මුළුමනින්ම ආර්ථිකය කඩා වැටුණත් මේ වන විට රජය විසින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අතිශය සාධනීය වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. ජාත්‍යන්තරය ඇතුළු සියළුම පාර්ශ්වයන්ගේ විශ්වාසය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් රජය සිදු කරගෙන යන වැඩ පිළිවෙලට ලැබී තිබෙනවා. දැඩි පරිශ්‍රමයකින්, අධිෂ්ඨානශීලීව මෙන්ම විනිවිද භාවයකින් යුතුව රජය මේ වැඩපිළිවෙල සිදු කරගෙන යනවා. ජනතාවට තිබුණු දුෂ්කරම කාලය අපි අවසන් කළා. නමුත් පූර්ණ ආර්ථික ස්ථාවරත්වයක් ලැබීමට නම් 2023 වර්ෂයේ දී සෑම අංශයකින්ම හොඳ ප්‍රතිපල ලබා ගත යුතුයි. ඒ අනුව මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අපි බලාපොරොත්තු වනවා. ඒ හරහා රටේ ආර්ථිකයට මෙන්ම සමස්ත ක්‍රියාවලියට විශාල ප්‍රතිලාභ අත් වීම තුළ නැවත එවැනි අර්බුදකාරී තත්වයකට රට පත් නොවෙන බව විශ්වාසයි.“
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක් පසුකරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි. 
 
රජයේ වැඩපිළිවෙල කෙටිකාලීනව වේදනාත්මක වුවත් එමඟින් දිගුකාලීනව ආර්ථික ස්ථාවරත්වයක් හා වර්ධනයක් අත් වන බව, මේ වන විට රට තුළ ඇති වී තිබෙන යම්තාක් දුරකට ස්ථාවර වී ඇති ආර්ථික තත්වය අනුව පෙනී යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
 
“මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට අතළොස්සකගේ කණ්ඩායමක් මූලිකත්වය ගෙන තිබෙනවා. රජය විසින් දැරිය යුතු අත්‍යවශ්‍ය වියදම් සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් මහා භාණ්ඩාගාරයට නොලැබෙන අවස්ථාවක තමයි මේ වැඩවර්ජන කරමින් ජනතාවත් රටත් අපහසුතාවයට පත් කිරීමේ කටයුතු සිදු වන්නේ. යහපත් කාලයක් වෙත රට ගමන් කරමින් තිබෙන අවස්ථාවක ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම තමයි මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ. උපයන විට බදු ගෙවීම් සීමාවට අයත් නොවන පිරිස මුලා කරමින් රට අස්ථාවර කිරීමට යම් දේශපාලන හස්තයන් විසින් දරණ උත්සාහය දැඩිව හෙළා දකිනවා. ඒ අනුව පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක ලා, මිලියන 22ක් වන ජනතාවගේ සහ රටේ ආර්ථික යහපත වෙනුවෙන් කටයුතු කිරීමට මේ තීරණාත්මක මොහොතේ හෝ එකතු විය යුතු බව අවධාරණය කරනවා." යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුටරත් සඳහන් කළේය.
 

නව අදහස දක්වන්න