තෙල් මිල බසී - කොටස් මිල නගී | දිනමිණ

තෙල් මිල බසී - කොටස් මිල නගී

 නව රජයෙන් ජනතාවට සහන මල්ලක්

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10.00 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00 කින් ද මිල පහත හෙළා ඇත.

පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය ඉකුත් දින තුනේ දී වාර්තා වී ඇත.

ඊයේ දහවල පසු වී සුළු මොහොතකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 121කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125කින් ඉහළ ගොස් තිබූ අතර, මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් වාර්තා විය.

මේ වන විට ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබේ.

ඉකුත් සිකුරාදා දිනයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමත් සමඟකොටස් වෙළෙඳපළ සියලු කොටස්වල මිල ගණන් ඉහළ ගොස් ඇති බවද කොටස් වෙළෙඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළෙඳ භාණ්ඩ බද්ද පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග්‍රෑමයකට රු. 25 කින්ද, අඩුකර ඇත. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලෝග්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ.

පසුගිය වසර 3ක කාලය තුළ ආර්ථිකයේ සිදුවූ කඩා වැටීම පිළිබඳ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කඩිනම් අවධානය යොමු වී ඇත. එය පාලනය කර ජීවන වියදම අඩු කිරීමට හා ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීමේ පියවරක් ලෙස අගමැතිවරයා සහ මුදල් හා ආර්ථික කටයුතු ඇමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර රැසක් ගෙන ඇත.

ඒ අනුව ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකර ඇත. ඒ සමගම ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

එයට අමතරව දේශීය ගොවියා ආරක්ෂා කිරීමට වී, ළුෑණු සහ අල සඳහා සහතික මිල ක්‍රම වේදයක් හඳුන්වාදී ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පසුගිය කාලයේ ද දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගනු ලැබීය. ගොවී ණය කපා හැරීමට ද නව රජය පියවර ගෙන ඇත. ඊට අමතරව මෙතෙක් පැවැති වැට් බද්දෙන් නිදහස් සීමාව වසරකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කර ඇත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. බදු සංශෝධන යෝජනාවලට අදාළ ගැසට් නිවේදන ඊයේ (1දා) නිකුත් විය.

දේශීයව නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිල ක්‍රම වේදයක් හඳුන්වා දී අැත. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

විශේෂයෙන් ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියලුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2 ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද ඊයේ (1දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ.

පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

වී වගාව සදහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 යේ සිට රුපියල් 1,000 දක්වා අඩු කෙරේ.

14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.

මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන ප්‍රේෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.

තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ. නිෂ්පාදනයෙන් 1.8%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවති. අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.

නව අදහස දක්වන්න